මාතුපාලගේ දූෂණ විරෝධය

මේ මගේ ජීවිත කතාව තුල ලියූ දෙවෙනි කෙටි කතාවයි. මේ කතාව ලිවීම සඳහා මා පෙළඹවූයේ සමාජයේ (බ්ලොග් අවකශයද ඇතුළුව ) මා විසින් දකින ලද සමහර දූෂණ වංචා විරෝධීන්ගේ ව්යායජත්වයයි. මොවුන් බොහෝ විට අන් අයගේ දූෂණ පිළිකෙව් කළත් තමුන් විසින් සිදු කරන දූෂණ , දූෂණ නොවේ යයි සිතන්නවුන්ය. ඒ ඔවුන් විසින් සිදු කරනු ලබන දූෂණ සාපේක්ෂකව කුඩා යයි අදහන නිසාය.

මාතුපාලගේ හඬ කාර්යාලය පුරා රැව් දේ. කෑම පැය අවසන්ව ගොස් විනාඩි පහළවක් පමණ ගෙවී ගොස් ඇතත් ඔහුට වෙලාව පිළිබඳව හැඟිමක් නැතුවා සේය. ඔහු කාටදෝ මහා හඬින් බැණ වදියි. ඒ කාටදැයි දැනගැනීමට මල්කාන්තිට අවැසි මුත් ඇයගේ මේසය මත ගොඩ ගැසී ඇති වැඩ කන්දරාව දකින විට එම ආසාව ඉබේම අතුරුදන් වෙයි. එහෙත් මාතුපාලගේ හඬ ඇයට සිය වැඩ කටයුතු එක් සමාධියක පිහිටා ඉටු කිරීමට ඉඩ නොදෙයි.
“ඔය ඇමතියා මාර හොරා. ඕකා නිතරම රට ඉන්නේ. ඒ මදිවට ඌ හැම වැඩකින්ම කොමිස් ගහනවා. ඒ විතරක්ද ඌට රටේ ගෑනූ කීයක්ද? යන යන තැන ගෑනු ”
ඔහු රටේ එක් ප්රධාන ඇමතියකුට බැන වදින්නේ ඉහ වහා ගිය කෝපයෙනි. මහජන සේවයට ජනතා ඡන්දයෙන් පත්වූවෙකුගේ එවන් ක්රියා පිළිබඳව මාතුපාලගේ කේන්තිය සාධාරණය යයි මල්කාන්තිට සිතේ.
“ඌ ටී. සී. එකට ගෙයක ප්ලෑන් එකක් අනුමත කරන්න දාලා තියෙනවා. ඒක හැදුවම කෝටි ගාණක් වෙනවා” මාතුපාලගෙ හඬ තව දුරටත් ගලා යයි.
“ඉතින් තාම හදලා නෑ නේද?” ඒ විමල්ගේ ප්රතිචාරයයි.
මේ ගෙවල් සැදීම හා බැඳුණු කතාවත් සමගම මල්කාන්තිගේ සිත අතීතයට සක්මන් කලේ ඇයගේ සිත තවදුරටත් මාතුපාලගේ කතා කෙරෙහි වූ අවධානය බිඳ දමමිනි. මීට වසර කිහිපයකට පෙර ඇයගේ වැඩිමල් සොහොයුරියගෙ සැමියා වූ සිරිසෝම අයියා නිවසක් තනන්න්ට ගොස් අසා ගත් කතා මතක් වී ඇගේ නෙත් කෙවෙණි තෙත් විය. වෘතියෙන් ග්රාම නිලධාරියකු වූ සිරිසෝම අයියා තමුන්ගේ පාඩුවේ රැකියාව කරමින් තමුන්ගේ පවුල සරි කල අයෙකි. ඔහු කෙදිනකවත් තම නිලයේ නාමයෙන් අන් ග්රාම නිලධාරින් මෙන් අයුතු ලෙස ධනය උපයා නැත. එසේ වුවත් ඔහු නිවසක් තැනීමට පටන් ගත් අවධියේ ඔහුට එරෙහිව ගම්මුන්ගෙන් නැගුණු මඩ ප්රහාර ඉතා නින්දිත විය. එකල ගම්මුන්ගේ කතා අද මාතුපාල කියන කතා වලට බොහෝ සේ සමානකම් දැක්වීය. සිරිසෝම අයියාගේ නිවස සැදීමට මුදල් සපයා ගත්තේ නිවාස ණයක් ගැනීමෙන් සහ එකල තනිකඩයකු වූ ඔහුගේ ජපානයේ සේවය කල බාල සොහොයුරාගෙනි. ඊට අමතරව බාස් කුලිය ගෙවීම සඳහා මුදල් ප්රධමාණවත් නොවූ අවස්ථාවලදි සිය සොහොයුරියගේ පමණක් නොව තමුන්ගේද කණකර සාහිබ් මුදලාලි ලඟ උගස් තැබුණු හැටි ඇයට සිහිපත් වේ. එකල ගම්මුන් විසින් සිරිසෝම අයියාට පමණක් නොව තමුන්ගෙ සොයුරියට, තම පවුලට සහ තමුන්ට පරිභව කල ආකාරය සිහිපත් කලේ සිත තුල නැගුණු ඉකි බිඳුමක්ද සමගිනි. ගම්මුන් ඒ සියළු කතා මුදාහැරියේ ඊර්ෂ්යාදව මූලික කරගත් චේතනාවකින් බව මල්කාන්තී දනී. එහෙත් ඒ කාලය තුල අසන්නට වුනු කතන්දර සහ මිනිසුන්ගේ ඔලොක්කු කතාවලට මල්කාන්තිට මුහුණ දීමට සිදුවූයේ එවැනි දේ දරා ගත හැකි වයසකදී නොවේ. යම් දිනවල ගමේ සිල්ලර කඩය ඉදිරිපිටින් ගම කරන්විට එහි සිටින කාපාලුවන් බ්යිට් එකට ගත්තේ තමාවය. සමහර දිනවල ඇය ගෙදර ගොස් හඬනු ලබන්නේ ඇයගෙ අසරණ කමට සාප කරමිනි. ඒ අමිහිරි කාල පරිච්ඡෙදය නිමවීම ගැන ඇයට ඇත්තේ පහන් හැඟීමකි.

“හෙක් හෙක් හෙක් හේ ”

මාතුපාලගේ අමිහිරි සිනාවෙන් මල්කාන්ති නැවත පියවි සිහියට පැමිණියාය.

මාතුපාල තවත් විනාඩි කිහිපයක් අල්ලාප සල්ලපයේ යෙදීමෙන් අනතුරුව තමුන්ගේ මේසයට ඇවිද ආවේ ඕනෑවට එපාවටය. රටේ ප්රශ්න ගැන හිතා හෙම්බත් වූ ඔහුට ඔහුගේ මේසය මතවූ ලිපි ගොනු පෙනුනේ දූෂණයට වංචාවට එරෙහිව ඔහු නගන හඬට බාධකයක් ලෙසය. ඔහු නොරිස්සුම් බැල්මකින් යුතුව උඩින්ම තිබූ ලිපි ගොනුව විවර කලේ මෙසේ කියා ගෙනය.

“මේ නවීන කාලේත් අපි තාම වැඩ කරන්නේ කොම්පියුටර් එකෙන් නෙමේ. කොම්පියුටර් එකක් තිබුණනම් අපිට මීට වඩා කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න තිබුණා.”

සෙසු සගයන්ද එය අනුමත කරමින් හිස සැලූහ. මාතුපාල හිත යටින් සිතුවේ කොම්පියුටර් එකක් කාර්යාලයේ තිබුණි නම් අන්තර්ජාලය කාර්යාලයේදී පාවිච්චි කර තමුන්ගේ නිවසේ තිබෙන කොම්පියුටර් එකේ අන්තර්ජාල සීමාව රැකගත හැකිව තිබුණු බවයි. මාතුපාල මේ ආණ්ඩුවට විරුද්ධය. ඔහු වෘතීය සමිතියක සාමාජිකයෙක් වන අතර මෙම කාර්යාලයේ කම්කරු නායකයෙක්ද වෙයි. මාතුපාල විසින් මෙම කාර්යාලය පුරා තම අණසක පතුරුවාගෙන සිටින්නේ තමුන්ගෙ වෘතීය සමිතියේ බල මහිමය නිසාය. ඔහුව තරහා කර ගැනීම අනවශ්ය කරදරවල පැටලීමක් යයි සිතූ මාතුපාල සේවය කල සමාගමේ පාලකයෝ ඔහු හා යාප්පුවෙන් වැඩ කිරීමට කැමැත්තක් දැක්වූහ. මේ තත්වය නිසා මාතුපාල යම් උඩඟු බවක් හිස දරා සිටියේයයි කීවොත් නිවැරදිය. මාතුපාල දැන් ලිපිගොනුවක වැඩය. මුළු කාර්යාලයම මීයට පිම්බාක් මෙන් නිහඬය. ඔහු දෙවෙනි ලිපි ගොනුවට යාමට පෙර නැවතත් හඬ අවදි කලේය. “ඔය ඇමතිවරු මන්ත්රීවරු හොරම්කරපුවා ගොඩ ගැහුවොත් මේ වගේ කොම්පැනි ලක්ෂයක් පටන් ගන්න පුළුවන්. මේ කොම්පැනි කාරයෝ ලාබ පිට ලාබ ලබනවා ඒත් අපිට හුලං”. මාතුපාලට මදක් ඈතින් වාඩිවී සිටි ගිණුම් ලිපිකරු අමරසේකර මහතා ඒ වනවිට සිය සමාගම බැංකුවෙන් ලබා ගත් ණය මුදල වෙනුවෙන් මේ මාසය සඳහා ගෙවිය යුතු වාරිකය පමා කර ගෙවීමට ඉල්ලීමක් කරමින් ලිපියක් සකස් කරමින් සිටියි. මාතුපාලගේ ඉහත ප්රකාශයත් සමගම අමරසේකරගේ මුවඟට නැගුණේ සාවඥ සිනාවකි. අමරසේකර කාර්යාලය තුල සිටින නිහඬම පුද්ගලයාය. ඔහූ මුවින් යමක් පිට කරන්නේ එසේ කිරීම අත්යාෙවශ්යලයයි හැඟුණොත් පමණි. මාතුපාලට දැඩි තේ තිබහක් දැනෙන්නට වුයේන් එළියට බැස සමාගම ඉදිරියේ ඇති තේ කඩයට ගොඩ වී තේ එකක් තොල ගාන්නට පටන් ගනී. ඒ ගමන්ම කඩයේ තිබූ පුවත්පත් බලන්නට විනාඩි කිහිපයක් ගත කල මාතුපාල නැවතත් තම මේසය වෙත ඇදුනේ ඇද වී ගිය මුහුණෙනි. ඔහු දිවා අහරින් පසු දෙවෙනි ලිපි ගොනුව අතට ගත්තේය. මද වෙලාවකින් ඔහුට මතක් වූයේ ඔහුගේ පුතා පෑනක් ඉල්ලු බවය. වහාම අමතකවීමට පෙර ලිපි ද්ර්ව්ය තිබෙන කාමරයට ගිය හෙතෙම පෑන් කිහිපයක් , මකන් කෑලි කිහිපයක් සමග හාෆ් ෂීට් කොල 100ක් පමණ ගත්තේය. පසුව සිය බෑගයට ඒ සියල්ල රුවා ගත්තේ මහත් තෘප්තියකිනි. මාතුපාල නැවත පැමිණ සිය කාර්යය නිමවූ තැන සිට හිමින් හිමින් නිම කරමින් සිටියේ වෙනත් සොඳුරු හැඟිමකින්ද සිත උත්තේජනය වෙමින් පවතිද්දීය. ඔහුට සුනීතා පිළිබඳව මතකයට නැගුණි. අද සවස ඇය අවන්හලකදී හමුවීමට නියමිතය. ඔහුගේ හදිසි නිස්ශබ්දතාවය නිසා ඒ කුමක් නිසාදැයි විපරම් කළ මල්කාන්ති දුටුවේ ඔහුගේ මුව හරහා ඇඳී ගොස් තිබූ සිහින් සිනා රේඛාවක්ය. ඒ දුටු මල්කාන්තිටද මද සිනාවක් පහළ විය. සවස හතර පමණ වන විට මාතුපාල ලක ලෑස්ති වෙමිනි සිටියේ මෙතෙක් කරමින් සිටි වැඩවලට සමු දීමටය. සුවන්කා අවන්හල වෙත හැකි ඉක්මණින් පිය නැගීම ඔහුගේ අභිප්රාිය විය. මාතුපාල සුවන්කා අවන්හල වෙත යනවිට සුනීතා ඒ වනවිටත් පැමිණ සිටියාය. ඇය සිටි මේසය වෙත මාතුපාල ගමන් කලේ “මම පරක්කුදැයි” අසමිනි. සුනීතා ඔහුගේ උරෙහි එල්ලි තොඳොල් වෙමින් සිටියාය. මේ අතරේ ඈත කොනක සිටින්නෙකු තමා දෙස සිනාසෙමින් බලා සිටිනු පෙණුනෙන් මාතුපාල සුනීතාගෙන් ඈත්වී බැලූවිට ඔහුගේ ඉහ මොළ රත්වන්නට වූයේ ඒ තම කාර්යාලයේ පියන් වන සරත් බව හඳුනා ගැනීමෙනි. තමුන්ව දුටු සැනින් සරත් තමා වෙත පිය නගනු ඔහු බලා සිටියේ නොරිස්සුම මුසු බැල්මකිනි. “මූත් නැති තැනක් නැහැ. හරියට කාක්කෙක් වගේ” මාතුපාල සිතින් සිතුවේය.
“කොහොමද සර්. අද වේලාසනින් ගෙදර යනවද?” සරත් සිය ප්ර්ශ්නය යොමු කරමින් සුනීතා දෙස හොඳින් බැලුවේ ඇයව සිය මතකයෙහි රඳවා ගැනීමටය. සරත් සේවා ආයතනයේ කටයුතු සඳහා දින කිහිපයක් මාතුපාලගේ නිවසට පැමිණ තිබේ. ඒ සෑම අවස්ථාවකම සරත්ට තේ කෝප්පයකින් සංග්රහ කිරීමට මාතුපාලගෙ බිරිය අමතක නොකලාය. දැන් සුනීතා කවරෙක්දැයි සරත්ට පැහැදිලිය. ඔහුගේ මුවඟට නැගුණේ සෝපහාසය මුසුවූ ජයග්රාදහී සිනාවක්යැයි මාතුපාලට සිතේ. මාතුපාලගේ සියල්ල කඩා වැටෙන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය.
“ඔව්. සරත් කොහෙද මෙහෙ”
මාතුපාල සරත්ගෙන් ඇසුවේ මිත්රශීලිව නොවේ.
“මමත් මේ පොඩි වැඩකට යාලුවෙක් හම්බුවෙන්න ආපු ගමන්” සරත්ගේ පිළිතුර මාතුපාලට එතරම් වැදගත් නැත.
“මම එන්නම් සර්. හෙට ඔෆීස් එකේදී හම්බවෙමු”
“හොඳයි සරත්” මාතුපාලට කියවුනේය.

මාතුපාලගේ හිසෙහි බර ගතියක් දැනෙන්නට විය. සුනීතා හා සමාගම තව දුරටත් ප්රීතියක් ගෙන දෙන්නේ නැත. ඉක්මනින් බීම දෙකක් ගෙන්නා ගෙන අඩියට දෙකට එය බිවූ මාතුපාල හා සුනීතා සුවන්කා අවන්හලින් පිටවූයේ එල්ලා ගත් මුහුණිනි.

සරත් හෙට කාර්යාලයේදී කුමන ප්රතිචාරයක් දක්වාවිදැයි විශ්වාස නැත. සරත් කාර්යාලයේ සගයන්ට මේ පිළිබඳව කියාවිද? මගේ ප්රතිරූපය සුණු විසුණු වේවිද? වැනි ප්රශ්න ගණනාවක් සමග මාතුපාල සිය නිවසට ගොඩවැදී හිස කැක්කුමක් යයි පවසා වේලාසනින්ම නිද්දට ගියේය.

පසුදින මාතුපාල කාර්යාලයට පැමිණියේ එල්ලා ගත් මුහුණිනි. මල්කාන්ති මාතුපාලගේ මුහුණෙහි වූ වෙනස හැඳින්නේය. එහෙත් ඒ පිළිබඳව විමසීමට මලකාන්ති ඉක්මන් නොවූවාය. මාතුපාල සුපුරුදු කුසීත කමින් සිය වැඩ කටයුතු ඇරඹුවේය. නමුත් වෙනදා මෙන් දූෂණ විරෝධි කතා නැත. ඒ වෙනුවට මාතුපාල ඉතා ගැඹුරු කල්පනාවක ගිලී සිටියේය. සරත් තමුන් දෙස බලා ඔලොක්කුවට මෙන් සිනාසුණි. මාතුපාල දැන් ඉන්නේ කෙමෙන් රත් වන ලිපක් උඩය. දිවා ආහාර කාලය මාතුපාල සිටිද්දිත් ගෙවී ගියේ නිහඬවය. අනිකුත් සගයන් ඔහුගේ වෙනස දුටුවත් එය නොදැක්කා සේ සිටියේ එය ඔහුගේ පෞද්ගලික ප්රශ්නයක් විය යුතු යයි අවබෝධ කරගෙන සිටි නිසාය. සවස තුන පමණ වනවිට සරත් මාතුපාලගේ මේසය වෙතට පැමිණියේ “කොහොමද සර්” කියාගෙනය. “හොඳයි සරත්” මාතුපාලගේ අප්රාණික වදන් එළි බැස්සේය. “සර් මට රුපියල් පන්සීයක් ගන්න පුළුවන්ද? පොඩි හදිසියක්” සරත් බ්ලැක්මේල් කිරීම අරඹා ඇත. මාතුපාල ඉතාම අසරණය. ඔහුගේ වෙවුලන අත මුදල් පසුම්බිය වෙත ගියේ ඔහුටත් නොදැනීමය. රුපියල් පන්සීය දුන් මාතුපාල සරත් දෙස බැලුවේ බෙරිවූ මුහුණිනි. “මම සර් අරක කාටවත් කියන්නේ නැහැ” මුදල් අතට ලැබුණු විගස සරත්ගේ මුවින් රහසින් මෙන් පිටවිය.
ඉන් අනතුරුව සරත්ට පොඩි හදිසි නිතර නිතර සිදුවන්නට වූයේන් මාතුපාලගේ පසුම්බිය හිඳී ගියේ සමහර දිනවලට බස් ගාස්තුව පමණක් ඉතිරි කරමිනි.
මාතුපාල මෙයින් මිදෙන මගක් කල්පනා කරමින් සිටිනතුර කදිම අදහසක් පහළ විය. ඒ අන් කිසිවක් නොව සමාගමේ වියදමින් සරත්ගේ කප්පම ගෙවීමය. මේ සඳහා ඔහු භාවිතා කලේ අපූරු උපක්රමයකි. සරත්ට පොඩි හදිසි එන සෑම අවස්ථාවකම ඔහු ව කුමක් හෝ බොරු වැඩකට එළියට යවා ගමන් ගාස්තුව සඳහා අයි. ඕ. යූ. එකක් සකසා දීමෙනි. දැන් ඔහුට ආර්ථික ප්රශ්නය විසඳා ගෙන අවසානය. නමුත් කලින් රුපියල් පන්සීය ඉල්ලු සරත් දැන් පොඩි හදිසි සඳහා ඊට වඩා වැඩි ගණන් ඉල්ලයි. මාතුපාලට අයි. ඕ. යූ. තව දුරටත් කර ගත නොහැකි සෙයකි. දැන් මාතුපාල සිය සමාගම සඳහා ගෙන්වන බඩුවලින් කොමිස් ගහන්නට පටන් ගත්තේය. ඒ සමගම සමාගමේ බඩු අවතක්සේරු කොට විකුණා දමා ඉන් ද විශාල ලෙස ලාබ ඉපයීය. නමුත් ඒ උපයන ලාබයේ ප්රමුඛ හිමිකරු වූයේ සරත්ය. සරත් දැන් කලින්ට වඩා පිළිවෙලට අඳියි. ඒ මදිවාට යතුරු පැදියක්ද මිලදී ගෙන ඇත. මෙතෙක් කල් දූෂණයට විරුද්ධව හඬ නැගූ මාතුපාල, සමාගම තුල දූෂණ වංචා රජෙක් බවට පත්වී ඇත.
දැන් අලුත් ප්රවණතාවක් සමාගම තුල වර්ධනය වී ඇත. මෙතෙක් කලක් තොර තෝංචියක් නැතුව කතාකල මාතුපාල නිහඬ වීමත් , නිහඬව සිටි අමරසේකර කතා කරන්නට පටන් ගැනීමත්ය.

අමරසේකරට නිතර කියවෙන්නේ මෙවැන්නකි.

“මං දන්නේ නැහැ මේ කොම්පැණියට මොනවා වෙයිද කියලා. මම හරියට බිසී. මට එපාවෙලා තියෙන්නේ ණය ගෙවන්න බැංකු වලට කල් ඉල්ලලා ලියුම් ලියලම”

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to මාතුපාලගේ දූෂණ විරෝධය

  1. charmi... says:

    හොඳයි මේ කතාව. දූෂණ විරෝධයත් පැවැත්මේ මාදිලියක්. නමුත් මාතුපාල වගේ නොවන ඉතා සද්භෘවයෙන් වැඩකරන මිනිස්සු අතළොස්සකුත් මට හමුවෙලා තියෙනවා.

  2. ```Outsider``` says:

    මාතුපාලල වගේ කොටසකුත් ඉන්නව තමයි. ඒත් එසේ වූ පමණින් සියල්ලන්ම දූෂණයන්ට එරෙහි නොවිය යුතු නොවේ. මුල් තැන් නිවැරැදි වෙනවනම් මාතුපාලල වගේ අයට තැනක් නැති වෙනව. ඔඵව කුණු වෙලානම් කඳත් කුණුවීම අනිවාර්යයි.

  3. මට දැනෙන විදියට මාතුපාලල ම තමයි දවසක දූෂිත ඇමතිවරු බවට පත්වෙන්නේ.අමරසේකරලා, මල්කාණ්තිලා, සිරිසෝම ල (ඒ අය තමයි රටේ බහුතරය) මොනව උනත් හිතේ සතුටින ්ජීවත් නවනවා.මාතුපාලල ජීවත් වෙනනේ බඩේ ගින්දරෙන්.

  4. බ්ලැක්මේල් කේස් එක නැතුව ඉතුරු ටික විතරක් තිබුනනම් මීට වඩා ගතියක් තියෙයි කියල හිතනව… මොනව වුනත් එල… බොරු සුද්ධවන්තයන්ගෙ කලිසම් ඔළුවෙන් ගැලවෙන්නෙ 😉

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s