අභ්‍යූහනයෙන් සාධනය කෙරෙන දේශපාලන සමීකරණ

මා උසස් පෙළ සිසුවකු ලෙස ගණිතය උගත්දී ඇසූ වචනයකි අභ්‍යූහනය. අභ්‍යූහනය භාවිතා වන්නේ යම් ගණිත සමීකරණයක් නිවැරදි බව සාධනය කිරීම සඳහාය. අභ්‍යූහනයට අනුව එම සමීකරණය නිවැරදි බවට සාධනය කරන්නේ  එය 1 ට නිවැරදි බවත් ඉන් ඉන් අනතුරුව 2 සහ 3 ට නිවැරදි බව තහවරු කිරීමෙන් එය n ට නිවැරදි බව උපකල්පනය කිරීමෙනි. මා ගණිත සංකල්පයක් ඉදිරිපත් කලේ ගණිතය ඉගැන්වීමට නොවේ. දේශපාලනයේදී අභ්‍යූහනය යෙදෙන අවස්ථා කිහිපයක් ගැන සඳහන් කිරීමටය. මගේ මතකයට නැගෙන අභ්‍යූහනයෙන් සාධනය කිරීමට උත්සාහ කරන යම් දේශපාලන සමීකරණ කිහිපයක් පහත දැක්වේ.

රජයක ජනප්‍රියතාව එහි දෙවෙනි වාරය උදෙසා  පැවැත්වෙන මැතිවරණයකදි අඩුවේ 

මෙය ලාංකීය ඉතිහාසය තුළ සැබෑවක් වන්නේ එ. ජා. ප. ය 1977දී ලබා තිබූ ජනප්‍රියත්වය පසු කලීනව පැවැත්වූ මැතිවරණවලදි අඩු වීමය. ඉන් පසු චන්ද්‍රිකා ද දෙවෙනි ධුර කාලය තුල ලබා ගත්තේ අඩු ජනප්‍රියතාවකි. ලෝක දේශපාලනය තුල වුවත් මෙය සත්‍යයකි. මේ අනුව මහින්ද රාජපක්ෂද දෙවෙනි ධුරය සඳහා පවත්වන මැතිවරණයේදි අඩු ජනප්‍රියතාවක් උපයාගනු ඇත.

 ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ ෆෙඩරල් ක්‍රමයෙනි

ෆෙඩරල් බලය ලබා දීමෙන් ඉන්දියාවේ ප්‍රශ්නය විසඳුනි. ඇමෙරිකාවේ ප්‍රශ්නයද විසඳුවේ ෆෙඩරල් ආකාරයේ බලය විමධ්‍ය ගත කිරීමකිනි. එම නිසා එය ලංකාවටද වලංගුය.

දුටුගැමුණු රජතුමා වෙහෙර විහාර සහ වාරි කර්මාන්ත සිදු කළේ වහල් සේවය ලබා ගැනීමෙනි.

 ඊජිප්තුවෙ රජවරු පිරමීඩ තැනුවේ වහලුන්ව සේවයට යොදවාගෙනය. ලංකාවේ තිබෙන චෛත්‍ය ගත්කල ඒවාද පිරමිඩ මෙන් උසය. එම නිසා චෛත්‍ය  තැනීම සඳහා ලංකාවේ රජවරුද වහල් සේවය යොදා ගත්තේය.

 යුද්ධයෙන් ප්‍රභාකරන් පැරදවිය නොහැක.

1987 දී වඩමාරච්චි සටනේදි බැරිවිය. පසුව රිවිරැස සටනේදීද බැරිවිය. එසේනම් 2009 දීද බැරිය.

 ජ. වි. පෙ. එන්න එන්නම ජනප්‍රිය වෙමින් තිබේ.

1994 දී ප්‍රගතිශීලි පෙරමුණ හරහා මන්ත්‍රී ධුරයක් දිනාගත් ජ. වි. පෙ. ය 2000 දී මන්ත්‍රී දුර 10 ක් ලබා ගත්තේය. ඉන් පසු පැවැත්වූ මැතිවරණයෙන් ආසන 41 ක් දිනා ගන්නා ලදි. එමනිසා මින්පසු එන සෑම මැතිවරණයකදීම දිනා ගන්නා ආසන සංඛ්‍යාව එන්න එන්නම වැඩිවනු ඇත.

ප්‍රභාකරන් බේරා ගැනීමට අවසන් මොහොතේ හෝ ඉන්දියාව හෝ බටහිර රටක් ක්‍රියා කරනු ඇත. එය සාර්ථක වනු ඇත. 

 1987 දී ඉන්දියාව ඉදිරිපත් විය. 2009 දීද ඉදිරිපත් වනු ඇත.

මහින්දව එලවීම සඳහා ජනතාව වහ වහා පෙල ගැසෙනු ඇත  

ඊජිප්තුවේදි එය සිදු විය. ලිබියාවේද සිදු වෙමින් පවතී. එම නිසා ශ්‍රී ලංකාවේද එය සිදු වේ.

යුධ ජයග්‍රහණයෙන් පසු පැවැත්වෙන මැතිවරණයකින් මහින්ද පරාජය වේ.

වින්සන්ට් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවැති මැතිවරණයෙන් පරාජයට විය. එම නිසා මහින්දට අත්වන්නේද එම ඉරණමමය.

 ඉහත දැක්වෙන්නේ මට සිහිපත් වුනු අභ්‍යූහනයෙන් සාධනය කිරීමට සමහරුන් විසින් උත්සාහ කළ දේශපාලන සමීකරණ කිහිපයක් පමණි. මෙම දේශපාලන සමීකරණ අභ්‍යූහනයට ගෝචර නොවුනත් අභ්‍යූහනයෙන් සාධනය කළ හැකි දේශපාලන සමීකරණද තිබිය හැක. අවසාන වශයෙන් කිව හැක්කේ දේශපාලන සමීකරණ අභ්‍යූහනෙයෙන් විසඳීම එතරම් ප්‍රඥා ගෝචර ක්‍රියාවක් නොවන බවයි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අභ්‍යූහනයෙන් සාධනය කෙරෙන දේශපාලන සමීකරණ

  1. Kathandara says:

    /* සමීකරණය නිවැරදි බවට සාධනය කරන්නේ එය 1 ට නිවැරදි බවත් ඉන් ඉන් අනතුරුව 2 සහ 3 ට නිවැරදි බව තහවරු කිරීමෙන් එය n ට නිවැරදි බව උපකල්පනය කිරීමෙනි.
    */
    එක්කෝ ගණං ෆේල් නැත්තං දැන් අමතක වෙලා.

    අභ්‍යුහනයෙන් ඔප්පු කරන්න නම් 1 සහ 2 ට හරි බව පෙන්නලා, ට හරි නං ඒ මත +1 ට නිවරදි බව ඔප්පු කරන්න ඕනෑ.

    ඔයා ගේ උදාහරණයක් ගත්තොත්, ජවිපෙ එන්න එන්නම ජනප්‍රිය වීම

    මුල් මැතිවරණය සහ දෙවැන්න අතර ආසන වැඩිවිය. එනම් ජනප්‍රිය වූ බව පෙන්වා, ඊලඟට, දෙචැන්න සහ තෙවැන්න අතර දී ආසන වැඩිවිය එනම් ජනප්‍රිය වූ බවද පෙන්වා,
    දැන්
    n වෙනි මැතිවරණය සහ n+1 වන මැතිවරණය අතර ජනප්‍රියතාවය වැඩි වූයේ යැයි උපකල්පනය කොට එය මත පදනම් ව, n+1 සහ n+2 මැතිවරණ අතර ආසන තවත් වැඩි වේයැයි පෙන්විය යුතුය!

    ඔයා ගේ උදාහරණවලින් කරන්නේ අභ්‍යුහනය නොව සරල සමානුපාතිකට, නැත්තං සරල එක්ස්ට්‍රාපොලේෂන් මෙහිදී නොගැලපෙන බව පෙන්වීමයි.

    • අඩ සියවසකින් භාගයකට පමණ පෙර උසස් පෙළ කළ මට අමතක වීම අරුමයක් නොවේ. ගණිතය නැවත මතක් කරදීම ගැන ඔබ තුමාට මගේ තුති.

Leave a reply to Kathandara Cancel reply