නිරර්ථක අරගල

මේ මගේ පළමු කෙටි කතාවයි. මේ කතාව ලිවීම සඳහා මා පොළඹවනු ලැබුවේ ටැබූ සබ්ජෙක්ට්ස් විසින් බලය බෙදිම අරමුණු කරගෙන ලියා තිබූ කෙටි කතාවකි. ජාති කුල ආගම් අනුව කරනු ලබන බලය බෙදීම් අනුමත නොකරන්නෙක් හැටියට ඊට විරුද්ධව යමක් ලිවිය යුතුයයි මට සිතුණි. මෙය මගේ පළමු කෙටි කතාව නිසාම එහි බොහෝ දුර්වලතා තිබිය හැකිය. මීට වඩා හොඳින් මෙය ඉදිරිපත් කළ හැකිව තිබූ බව මගේ සිත කියයි. කෙසේ වුවත් මෙය දැනට තිබෙන හැටියට ඉදිරිපත් කරනු ලබන අතර අනාගතයේදි අවශ්‍ය කරන වැඩි දියුණු කිරීම් කිරීමට බලාපොරොත්තු වෙමි.

ධනපාල යනු නම කුමක් වුවත් ඊට ඉඳුරාම වෙනස්වූ පුද්ගලයෙකි. දරිද්‍රතාවයේ පතුලේ ගිලී සිටි ඔහු සිය දිවිය ගෙවුයේ එදිනෙදා ලැබෙන කුලියක් මලියක් කරගෙන ආණ්ඩුවට අයත් ඉඩමක ඇටවූ කුඩා නිවසක ජීවත් වෙමිනි. ඔහුගේ බිරිඳ සිරිමා සහ එකම දරුවා වූ රංග ජීවත් වූයේ දුක් කඳුළ පමණක් පිරී තිබුණු පරිසරයකයයි කීවොත් වඩා නිවැරදිය. අග හිඟකම් කොපමණ තිබුණත් රංගගේ ඉගෙනීම අතපසු කලේ ධනපාල සහ සිරිමානම් නොවේ.  ධනපාලගේ නිවස අසල පිහිටි කොඩිතුවක්කු මහතාගේ මාලිගාව ඉතා විශාල එමෙන්ම දැකුම්කළු එකක් විය. කොඩිතුවක්කු මහතා සමාගමක ඉහළ ශ්‍රේණියේ නිලධාරියකු වූයෙන් ඔහුට එවැනි දෑ එතරම් ලොකු දේවල් නොවීය. ධනපාල බොහෝ අවස්ථාවලදී කොඩිතුවක්කු මහතාගේ නිවසේ කුලී වැඩ කොට යමක් සොයාගත් දින ගැන්නොත් එය එකක් හෝ දෙකක් නොවේ. ධනපාලගේ අහිංසක බවත් අවංකකමත් කොඩිතුවක්කු මහතාට සහ ඔහුගේ බිරිඳට විශාල සහනයක් විය. ධනපාලගේ නිවස කොඩිතුවක්කු මහතාගේ මාලිගයට යම් අවලක්ෂණයක් එකතු කළත් එය එතරම් ලොකු කොට තැකීමට ඔවුන් උනන්දු නොවූයේ ධනපාල සිය නිවස අසල සිටීම විශාල වරප්‍රසාදයක්යයි ඔවුන්ගේ යටි සිත තෙපළු බැවිනි. ඒ අවශ්‍ය ඔනෑම අවස්ථාවකදි නෑ බෑ නොකියා ධනපාල පිහිටට සිටීම නිසාය. මේ හේතුව නිසාම කොඩිතුවක්කු මහතාගේ පුතා වූ වරුණ සමග සීමිත මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට රංගට හැකිවූයේ ගමේ අනෙක් රංගගේ වයසේ සිටි කොලුවන්ට නොතිබූ වරප්‍රසාදයක් ලෙස  යයි කීවොත් නිවැරදිය. රංග , වරුණ සමග මිත්‍රත්වය වරුණට එතරම් ප්‍රියක් නොවුවත් රංගට එවන් අවස්ථාවක් ලැබීමනම් මහා දෙයකි. ඔහු මෙම මිත්‍රත්වය මගින් වරුණගේ කෙලි බඩු අත පත ගෑමේ අවස්ථාව උදා කර ගත්තේය. වරුණ ඔහුව යොදා කඳු වලදි ඔහුගේ බයිසිකලයට තල්ලු දම්මවා ගැනීම , එම බයිසිකලයට ග්‍රීස් ගා ගැනීම සෝදා ගැනීම වැනි දේ කර කරගැනීමටය. වරුණට ඉතා අප්‍රිය කළ එවන් දේ රංග සිදු කළේ මහත් අශාවෙනි.   රංග වරුණගේ බයිසිකලයට ඇලුම් කළේ තම පණටත් වඩා යයි පැවසුවොත් එය අතිශ්‍යෝක්තියක් නොවේ. වරුණ රංග ලව්වා සියලු පරවැඩ කරගත්තාට පසු “දැන් යන්න. පස්සේ එන්න” යයි කියන විට රංගට ඉතා කණගාටුවක් ඇතිවන බව රහසක් නොවේ. ඕනෑම කුඩා කොලුවකුට එවැන්නක් දැරීම ඉමහත් වේදනාවක් බව දන්නේ කුඩා කළ එවන් දේ අත්විඳි පුද්ගලයන්මය.  වරුණගේ පාපැදියට රංග කොතරම් ඇළුම් කළත් එය තමුන්ගේ නොවන බව දැනෙන වාරයක් වාරයක් පාසා ඔහුගේ හදවත ඇඳුම් කෑවේය. ඒ හැම මොහොතකම ඔහුගේ නෙතඟ කඳුළු බිඳුවක් නොරැඳුනානම් ඒ කලාතුරකිනි. තමුන්ටද බයිසිකල් එකක් ලබාගත හැකිනම් එය කොතරම් අගනේදැයි සිතුණු වාර එමටය. නමුත් තමාගේ මවුපියන් වෙතින් එවැන්නක් ලබාගැනීම ලෙහෙසි දෙයක් නොවන බව කුඩා වුවත් රංගට වැටහී තිබුණි. කොඩිතුවක්කු මහතාට ඇති හැකියාව තම පියාට නොමැති වීම ගැන ඔහුට ධනපාල කෙරෙහි දුකක් වෙනුවට තිබුණේ කෝපයක් බව පැහැදිලිය. වරක් ඔහු වරුණ සමග බයිසිකලයක් ලබා ගැනීමට තම හිත තුළ වූ තෙරපෙන ආශාව හෙළිදරව්කරද්දි වරුණ ඔහුට පැවසූයේ “උඹලගේ තාත්තාට කියලා ඉල්ලගනිං” යනුවෙනි. එය වරක් දෙවරක් නොව සිය දහස් වරක් තම සිත තුළ දෝංකාර වනු රංගට දැණුනි.  රංගගේ මෙම ආශාව දවසින් දවස ටිකෙන් ටික වැඩි වූවා මිස තුනීවි ගියේ නැත. එනිසාම බයිසිකලයක් කෙසේ හෝ ලබාගනිමියි යන චේතනාව තවත් දැඩි විය. මේ සියළු කාරණා මෙසේ සිදු වෙද්දි රංගට සිය මව සහ පියා සමග සිය ඥාතියෙක් හමුවීම සඳහා නගරයට යාමට සිදු විය. සිය ගමේ බස් නැවතුමෙන් බසයට ගොඩවූ ඔවුන්ට නගරයට යාමට එතරම් වෙලාවක් ගතනොවීය. නගරයට බට ඔවුන්ට විවිධාකාර පදික වෙළඳුන් පසු කරමින් යද්දී නෙත ගැටුනේ විශාල ප්‍රමාණයේ නාම පුවරුවකින් යුතු බයිසිකල් කඩයකි. ඒ දුටු සැනින් රංග එම කඩය තුළට දිව ගියේ පිස්සුවෙන් මෙනි. ඔහු එතුළට ගොස් කඩයේ තිබූ විසිතුරු බයිසිකල් අතගාමින් ඔබ මොබ දිව්වේ තමුන් හදිසියේ දිව්‍යලෝකයකට ගියා වැනි හැඟීමකිනි. මෙම දිව්‍යලෝකය තුළ දෙවිවරු නොසිටියත් සිටි එකම සේවකයා ඔහු දෙස බලා සිටියේ නොපහන් හැඟීමකිනි.ඒ ඔහු බයිසිකලයක් මිලදී ගත නොහැක්කෙක් බව පැහැදිලිව පෙණුනු බැවිනි. ටික වේලාවක් කඩයේ රැඳී සිටි රංග තම සිත ගත් බයිසිකලයක් ළඟ නතර වූයේ සිතා මතා නොවේ. මේ අතර ධනපාල සහ සිරිමා තම කොළුවාගේ විප්‍රකාර හැසිරීම දෙස බලා සිටියේ මුව ඇරගෙන විමතියෙනි. රංගගේ පියවි සිහිය නැවතත් සැපත් වූයේ තමා දෙස බලා සිටින තම පියා සහ මව දැකීමෙනි.  එම දසුන සමගම රංගගේ සිහිනය කඩා වැටුණේ ඇසි පිය ගසන වේගයෙනි. එහෙත් රංග මෙම බයිසිකලය හැරදා යාමට සූදානම් නැති සෙයකි. ඔහු හඬගා කිවූයේ “තාත්තේ මේ බයිසිකලය මට දැන් අරන් දෙන්න” යනුවෙනි. ධනපාල තමුන්ට ඇසුණු දෙයින් විපිලිසර වූයේ රංග එවැන්නක් කිසිදා ඉල්ලාවියයි ඔහු සිතා නොසිටි බැවිණි.  “උඹට පිස්සුද. ඕවා ගන්න් සල්ලි කොහෙන්ද? ඕක විතරද උඹට අඩු?”

ධනපාලගේ මෙම කතාවත් සමග රංග ඉතා මුරණ්ඩු ලෙස බයිසිකලයක් යැද සිටියේය. ඔහු එයින් මෑත් කර ගැනීම පහසු දෙයක් නොවූයේ රංගගේ ඇඬීම ඝෝෂාකාරි පරිසරයක් වුවත් ඉතා ඈතට ඇසෙන්නට පටන් ගත් බැවිනි. කඩය පසු කරමින් යන බොහෝ දෙනා රංගගේ මෙම ඇඬීම දෙස මොහොතකට හෝ තම අවධානය යොමු කළහ. මොන අග හිඟකම් තිබුණත් ඒවා ඉතාම ආගන්තුක තැනක ප්‍රදර්ශනය කරන්නට ඔහුගේ හිත ඉඩ දුන්නේ නැත. ඊටත් වඩා තමුන් විශ්වාසය තැබූ එකම පුතා මිනිසුන් අතර සමච්ඡලයට ලක් වීම ඔහුට දරා ගත නොහැකිය.  මේ සියල්ල කල්පනාවට ගත් ධනපාල “මම උඹට ලබන මාසේ අරන් දෙන්නම්” යයි පැවසුවේ එම අපහසු අවස්ථාවෙන් ගැලවීමට මිස අවංක චේතනාවෙන් නොවේ. අවංකව කල්පනා කළහොත් තමුන්ට එවැන්නක් මේ කපේදි කළ නොහැකි බව හොඳින්ම දන්නේ ධනපාල සහ සිරිමා පමණි. සිරිමාද ධනපාලගේ සහයට ඉදිරිපත් වූයේ ධනපාල කියන්නේ සත්‍යක් නොවන බවත් එම අවස්ථාව පසු කර ගැනීමට හුදු ගැලවිජ්ජාවක් බවට හොඳින්ම දැන ගෙනය.  මොන ප්‍රශ්න තිබුණත් ධනපාල රංගට අවශ්‍ය කරනු ලබන සුළු සුළු දේ ලබා දුන්නේ අනිකුත් තැනකට කළ යුතු වියදමක් කපා දමමිනි. ධනපාලගේ අය වැය හිඟය හෝ එම හිඟය පියවීමට කරන උපක්‍රම ගැන රංගට අවබෝධයක් නැතත් ධනපාල තම පවුල නඩත්තු කිරීම සඳහා මහත් වෙහෙසක් ගන්නා බව නොදැන සිටියා නොවේ. එහෙත් කෙසේ හෝ බයිසිකලය ලබා ගැනීමේ තම අභිප්‍රාය ඒ සියල්ල යට කරමින් මතුව තිබේ. කෙසේ වෙතත් කිසිදා බොරුවක් නොකියූ තම පියාව විශ්වාස කර තමුන්ගේ හර්තාලය නතර කිරීමට රංග ක්‍රියාකිරීම ධනපාලගේ සිතට තාවකාලිකව හෝ සන්තුෂ්ටිය ගෙන දුන්නේය. එම සිද්ධිය එතෙකින් නිම විය. දැන් එළඹ ඇත්තේ ධනපාලගේ පොරොන්දු ඉටු කිරිමේ වාරයයි. මේ අතරතුර රංග ධනපාලට පොරොන්දුව සිහිපත් කිරීම නොකඩවා සිදු කරනු ලැබුවේ ධනපාලට ඉසුඹුවක් නොදෙමිනි. ධනපාලගේ පොරොන්දු කාලය කෙමෙන් ගෙවී ගියේය. පොරොන්දුව ඉටු කිරීමට කොතෙකුත් හිත ඇතත් එය ධනපාල වැන්නකුට කල හැකි දෙයක් නොවේ. පොරොන්දු කාලය නික්ම යාමත් සමග රංග නැවතත් යකා නටන්නට පටන් ගත්තේය. ඔහු සිය පියගේ කුලී වැඩ සඳහා යොදා ගන්නා මෙවලම් එළියට විසි කරන්නට ගත්තේ නිවුණු මිනිසකුවූ ධනපාලට උන් හිටි තැන් අමතක කරමිනි. ධනපාල වහා නැගිටවුත් සිය පුතාගෙ කණ හරහා පහරක් එල්ල කළේ දැවෙන කෝපයෙනි. මේ කලබගෑනිය බලන්නට ගමේ මිනිසුන් වැට අසල රැස්වී ඇති බව දක්කේ සියල්ල සිදුවීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් මේ සිදු වීමෙන් පසු ධනපාල තවත් අසරණ වූයේ රංගගේ දඩබ්බර හැසිරීම තම අසල් වාසින් තමුන්ව සහ රංගව සමච්ඡලයට භාජනය කිරීමට යොදා ගනිතියි සිතුණු නිසාය. ධනපාලගේ ඉවට දැණුනු එම සිතුවිල්ල සත්‍යයක් බවට පෙරලෙමින් තිබෙන බව දැන ගත්තේ ගමේ කොලු කුරුට්ටන් පමණක් නොව වරුණ පවා රංගව උසි ගන්වමින් තෘප්තියක් ලැබූ බව ඔහුට වැටහුණු නිසාය. මේ තත්වය නිසා රංග තවත්  දරුණු වූයේය. ඔහුට දැන් ධනපාලව පෙන්නන්න බැරිය. ඔහු නිවසේ සිටියදී ගෙදර තිබෙන් බඩු මුට්ටු වලට පයින් ගැසිමටත් ඒවා එහෙට මෙහෙට තල්ලු කිරිමටත් පෙළඹුණේ තමුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමටය. ධනපාල සියල්ල ඉවසා සිටියේ නැවත වරක් ගම්මුන් ඉදිරියේ හෑල්ලු වීමට ඇති අකමැත්ත නිසාමය. ධනපාලගේ සිත දුබල කිරීමෙන් බයිසිකලය ලබා ගැනීමට තිබෙන සුළු ඉඩ පවා ඇහිරෙන බව රංගට අවබෝධ නොවූයේ ධනපාලගේ පමණක් නොව , සිරිමාගෙ සහ රංගගේද අවාසනාව නිසාමය. බයිසිකලයක් ලැබීමෙන් සියල්ල සම්පූර්ණ නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ ධනපාලගෙ රැකියාවට කළ හැකි උදව්වක් කොට පවුළේ ආදායම වැඩි කර ගැනීමෙන් බයිසිකලයක් ගැනීමට මග පාදා ගැනීම බවත් තේරුම් ගැනීමට තරම් ඥාණයක් ඔහුට නොවූයේ ඔහුගේම වරදින් නොවේ. වරුණත් සෙසු අසල්වාසිනුත් නිරතුරුව ධනපාලට එරෙහිව රංග තුල ඇවිලවූ වයිරයද එයට ප්‍රධාන හේතුවක් විය. දැන් දැන් රංගගේ හැසිරීම එන්න එන්න නරක අතට හැරෙන්නට විය. ධනපාල සහ සිරිමා දිනෙන් දින මේ ප්‍රශ්නය නිසාම දුබල වූහ. රංග දැන් තමුන්ගෙ බයිසිකලය ඉල්ලීම මතක් කරන්නේ බයිසිකලයට අලුත් අංගෝපාංගද එකතු කරමිනි. වරෙක “මට ඔනේ ටෙන් ස්පීඩ් බයික් එකක්”. තවත් වරෙක “නැහැ මට ට්වෙල් ස්පීඩ් බයික් එකක් ඔනේ” යනුවෙන් මොරගාන්නට පටන් ගනියි. සියල්ල තවත් උග්‍ර වූයේ ධනපාලට ආරියපාල කඩ පොලේදී මුන ගැසුණු විටදීය. ඔහු ධනපාලට බුරා පැන්නේ “මොනවද ඕයි තමුසෙ කරන්නේ තමුසෙගෙ ළමයව හදා ගන්නේ නැතුව. තමුසෙගෙ කොල්ලගෙන් පුරුදු වෙලා දැන් මගෙ එකත් මට පාට් දාන්න එනවා”. ධනපාලට මෙය දරා ගත නොහැකිය. මෙතෙක් කලක් කිසිවකුගෙන් කතන්දරයක් අසා නැති ඔහු සියල්ලන්ගේම කරදරවල නිර්මාතෘ වී ඇත. ඔහු දැඩි තීරණයක් ගත්තේය. “අද ඕකට මම හොඳ පාඩමක් උගන්නනවා” ධනපාල තම දත් ඇඳි එකට අතුල්ලමින් ඉටා ගත්තේය. ධනපාල තම නිවසට ආවේ ඉක්මණින් අඩි තබමිනි. ධනපාල එනවිට රංග සිටියේ පිලෙහි වාඩි ගෙනය. ධනපාල එනු දුර තියා පෙනුනත් ඒ පිළිබඳව වගක්වත් ඔහුට නොවිණි. රංග තම සුපුරුදු විරෝධය දැක්වීමට පුල පුලා බලා සිටින සැටියකි.   ධනපාල කෝපයෙන් තම කමිසය ඇඳට විසි කළේ රංගට අදනම් නටන්නට නොදෙමියි සිතා ගනිමිනි. ඉන් අනතරුව සුපුරුදු ලෙස තම පුටුවේ වාඩි ගත් ධනපාල රංග දෙස බලා සිටියේ ඔහු ඇවිලෙන තුරුය. රංගද තම සුපුරුදු ව්‍යායාමය ඇරඹුවේ එතරම් තැකීමකින් නොවේ. ඔහු ධනපාල දෙස බලා හිස් පුටුවකට පා පහරක් එල්ල කළේය. ධනපාල නැගිට්ටේ මාරාවේශයෙනි. ඔහු සිය මුලු අත්ලම වදින සේ රංගගේ කම්මුල්වලට දැඩි පහරවල් කීපයක් එල්ලෙ කළේය. සිය පියා මෙලෙස තමුන්ට ප්‍රතික්‍රියා දක්වතියි ඔහු කිසිදා බලාපොරොත්තු නොවීය. රංගට ඇඬුම් ආවේ නොසිතූ විරූ ලෙසය. ධනපාලගේ වදන් ඔහුගේ කඳුළු වල වේගය වැඩි කරන්නට උපකාරී වූයේ ජලාශයක සොරොව්ව ඇරියා සේය.

” උඹට මම කන්න දෙනවා. ඉස්කෝලේ යවනවා. ඒ මදිවට උඹ ඉල්ලන ඉල්ලන දේ පුලුවන් විදියට දෙනවා. ඒත් බයිසිකලයක් කියන්නේ මට දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. පුලුවන්නම් බයිසිකලයක් නෙමෙයි කාර් එකක් උනත් මම උඹට අරන් දෙනවා.

ඇයි උඹ මට වද දෙන්නේ. මම මේ දෙවල් ඔක්කොම කරන්නේ අතේ කරගැට එනකන් වැඩ කරලා. මම වෙන උන් වගේ ඇඟේ අමාරුවට කසිප්පු බොන්නේ නැහැ. සූදුවට යන්නේ නැහැ. උඹ ලව්වා පර වැඩ කර ගන්නේ නැහැ. ඇයි උඹ මට මෙහෙම කරන්නේ” 

මෙ වදන් සමගම රංගගේ චිත්තාභ්‍යාන්තරයද කෙමෙන් කෙමෙන් මුදු වී සිය පියා ගැන සෙනෙහසක් ඉපදුනේ නොදැනුවත්මය. ධනපාලගේ නෙතඟින් හිමින් ඇරඹුණු කඳුළු බින්දුව සෙමින් සෙමින් ඔහුගේ කම්මුල හරහා ගලා ගියේ සිරිමාවද පුදුමයට පත් කරමිනි. සිය කුළුඳුල් දරු උපත අසාර්ථක වූ අවස්ථාවේදීවත් ඔහුගේ කඳුලක් ඇය දුටුවේ නැත.

සියල්ල උඩු යටිකුරු කරමින් රංග සිය දෑත ඔසවා ගෙන බිම වැටී ධනපාලට වැඳ වැටුනේ ගම දෙවනත් වන හැඬුමක් සමගිනි.

“මට සමා වෙන්න තාත්තේ මම ආයි ඔය වගේ බොරු දේවල් ඉල්ලලා අඬන්නේ නැහැ. මට තේරෙනවා අපි බලාපොරොත්තු තියාගන්න ඕනේ ලබන්න පුලුවන් දේවල් විතරයි කියලා.”

මේ වැකියත් සමග ධනපාල සිය එකම පුතු සිය සිරුරට එසවූයේ සැබෑ පීතෘ සෙනෙහසිනි. මේ සියල්ල අතරින් වරුණගේ මැලවුනු මුහුණත් වැට අසලට රැස්වූ බලාපොරොත්තු කඩ වූ කොල්ලො කුරුට්ටන්ගේ මුහුණුත් රංගට සිය කඳුළු අතරින් පෙනී ගියේ තම සිතට යම් අභිමානයක් උපද්දමිනි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to නිරර්ථක අරගල

  1. Kathandara says:

    ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ!
    එක අරමුණකින් යුතුව හොඳට ලියලා තියෙනවා.
    හැබැයි සැබෑ ලෝකයේ නං ඔහොම ලස්සනට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ නේද?

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s